27 April 2024
#දේශීය

Be Sri Lankan යටතේ රාජ්‍ය සේවකයන්ට දේශීය බතික් ඇඳුම් ඇඳීමට දිරි දීම කළ යුතුයි – ඇමැති එස්.බී.දිසානායක

එදා බණ්ඩාරනායක මැතිනිය දේශීය බතික් ඇඳුමින් සැරසී ඇති කළ ‘දේශීය බතික් ඇඳුම් ඇඳීමේ පුරුද්ද’ නැවත මෙරට ඇති කිරීම තුළින් දේශීය බතික් කර්මාන්තයට විශාල පිටුබලයක් ලැබෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) දින කොළඹ කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති, ලක්ෂ 15කට අධික රාජ්‍ය සේවකයන් සඳහා දේශීය බතික් ඇඳුම් ඇඳීමට දිරිගැන්වීමේ පරමාර්ථය පෙරදැරි ව කර්මාන්ත අමාත්‍යංශය මඟින් ක්‍රියාවට නැංවෙන ‘Be Sri Lankan’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” මේ වැදගත් කාර්යයට ආරම්භක ජවය ලබාදුන් හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතා මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතු යි. ඒවගේ ම විෂය භාර රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර මැතිතුමා සහ ප්‍රසන්න රණවීර දෙදෙනා ම ආරම්භයේ සිට ම මෙම වැදගත් කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඉතා වටිනා සහයෝගයක් ලබාදුන්නා. එය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු යි. රජයට අයත් පාඩු ලබන ආයතන, වසා දැමුණු ආයතන දේශීය සහ විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරගෙන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අප කටයුතු කළ යුතු යි. මේ කාලය තුළ ආසියාවට තමයි වැඩිපුර ම ආයෝජකයින් ගලාගෙන එන්නේ. පසුගිය කොවිඩ් වසංගත සමයේ ආසියාවට පැමිණි ආයෝජන ට්‍රිලියන 1.2ක් ආවා. මේවායින් බහුතරය ඇදගන්නේ චීනය. ඒවගේ ම සිංගප්පූරුව, හොංකොං, වියට්නාමය, බංගලාදේශය, ඉන්දියාව වගේ රටවල්වලින් එම ආයෝජකයින් ඇද ගන්නවා. ඒ නිසා ලංකාවට ලැබීමට තිබෙන තැන නැතිව යනවා. මේ තත්ත්වය අප තේරුම් ගත යුතු යි. සිංගප්පූරුව, හොංකොං වගේ රටවල් සමඟ සංසන්දනය කළහොත් ඒ රටවල් ඉතා කුඩා රටවල්. ඒ අයට ස්වභාවික සම්පත් හරි හැටි නැහැ. නමුත් අපේ රට සෑම අතින් ම ආයෝජකයන් ඇද බැඳ තබා ගන්නට අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරා තිබෙනවා. ආයෝජකයන් අපේ රටට පැමිණි විට ඔවුන් පන්නා දැමීම වෙනුවට ඔවුන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙළක් අපි සකසමු. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට සුදුසු වටපිටාවක් සකසමු. ඔවුන්ගේ ආයෝජන කටයුතු කිරීමට දින ගණන් තැනින් තැනට ගොස් රස්තියාදුවන තත්ත්වය අපි නැතිකර දමමු. ඔවුන්ගෙන් අවශ්‍ය තොරතුරු රැගෙන කෙටි කාලයක් තුළ තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පරිසරය සකසා දෙමු. අපේ රට ඒ තරමට ම ආයෝජකයන්ට සුදුසු වටපිටාවක්, දේශගුණයක්, මුහුදෙන් මෙන් ම ගුවනෙන් ද ප්‍රවේශ මාර්ග තිබෙනවා. මේවායෙහි තිබෙන වටිනාකම අවබෝධ කරගෙන ආයෝජකයින් දිරිගන්වන්නට කටයුතු කිරීම අප සිදු කළ යුතු යි. එදා ලී ක්වාන් යූ පැවසූයේ ‘අපට තරඟයට සිටින්නේ ශ්‍රී ලංකාව’ කියා යි. නමුත් අද අප ඔවුන්ට වඩා ඉතා ම පහළ මට්ටමක සිටින්නේ. ඒ නිසා ම ආයෝජකයන් ඇද ගැනීමට සහ ඔවුන් රඳවා තබා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර දීමට අපි කටයුතු කරමු. 1990 වර්ෂයේ දී වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකේ ම ආදායම වුණේ ඩොලර් බිලියන 10ක්. නමුත් 2020 සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව 12ක් සහ වියට්නාමය 280ක්. ඒ නිසා වහාම අපට වැරදුණු තැන් නිවැරදි කරගනිමු. හැකි දේ ඉක්මනින් කරමු. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර යන මහත්වරුන්, අමාත්‍යංශ ලේකම් දයා රත්නායක, රාජ්‍ය ලේකම්වරුන්, නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *