27 April 2024
#දේශීය

2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් – ජනපති

පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වන විටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හරිත ආර්ථිකය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් ළඟා කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමිනි.

පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute -GGGI) විසින් මෙය සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” අද මේ සිදු සිදු කරන්නේ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කටයුත්තට මුල් පියවර තැබීමක්. එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන් කි මුන් මහතා මීට පෙර මේ පිළිබඳ ශ්‍රී ලංකාව සමග ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකාව අද එහි ප්‍රතිඵල භුක්ති විඳීමින් සිටින බව මම සිහිපත් කරන්න කැමතියි. 2050 වන විට හරිත ආර්ථිකයක් ගොඩනැගීමට සහ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට ශ්‍රී ලංකාව ගනු ලබන පියවර පිළිබඳ පරිසර ඇමතිවරයා මෙහිදී කරුණු සඳහන් කළා. දේශගුණික විපර්යාස පිළිබඳ අද ලෝකයේ රටවල් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳ අපි හොඳ අවධානයකිනුයි කටයුතු කරන්නේ. මෙතෙක් පැවැත්වූ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවල ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි සෑහීමකට පත් වන්නේ නැහැ. මොකද මෙම සමුළු අවසානයේ ගනු ලැබු තීන්දු තීරණ බොහෝ රටවල් නිසි අයුරින් ක්‍රියාත්මක කළාදැයි සැකයක් තිබෙනවා. ඒ නිසාම දේශගුණික විපර්යාස පිළිබඳ ගන්නා වූ තීරණ වල ප්‍රතිඵල තවමත් ලෝකයට ලැබී නැහැ. අඩු ආදායම් හා මධ්‍ය ආදායම් ලබන රටවල් මේ වන විට විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටිනවා. ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට මෙම රටවලට ලැබෙන ආධාර ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසාම මෙම රටවල් සඳහා මීට වඩා තමන්ගේ අරමුදල් යොමු කරන ලෙස මා සංවර්ධනය වූ රටවලින් ඉල්ලා සිටිනවා. මතුව ඇති ආර්ථික අවපාතය හේතුවෙන් සංවර්ධිත රටවලට ද බලපෑම් එල්ල වී ඇති බව මම පිළිගන්නවා. සංවර්ධිත රටවල් පවා තමන්ගේ ඉලක්ක තවමත් සපුරාගෙන නැහැ. ඒ නිසාම තමයි මෙම ආර්ථික අවපාතය හමුවේ ඔවුන්ට පසුබෑමකට ලක්වීමට සිදුව තිබෙන්නේ. ඒ නිසා පරිසර සමුළුවලදී ගනු ලබන තීරණ සහ අරමුණු ක්‍රියාත්මක කිරීමට මීට වඩා කැපවීමක් අවශ්‍යයි කියා මම විශ්වාස කරනවා. ඒවගේම අඩු ආදායම් ලබන රටවල් සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඇති අවශ්‍යතාවන් පිළිබඳ නිසි සංගණනයක් කිරීම අවශ්‍යයි. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන්දි ලබා දිය යුතුයි. හානිපූර්ණය සඳහා ක්‍රමවේදයක අවශ්‍යතාව පවතිනවා. මෙහි අර්ථය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට සංවර්ධිත රටවල් මගින් සම්පූර්ණ ආධාර ලබාදිය යුතුයි යන්න නොවෙයි. මෙහිදී සිදු විය යුත්තේ සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආයෝජන අවස්ථා ලබා ගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට සම්පූර්ණ ආධාර ලබා දීම ගැන මම කතා කරන්නේ නෑ. එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවලට යම්කිසි වගවීමක් තිබෙනවා. COP 26 සමුළුවේ අභිමතාර්ථයන් මේ වන විට ඉටුවෙලා නැහැ. එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව මේ අවස්ථාවේදී මම සිහිපත් කිරීමට කැමතියි. නමුත් එහි අවසාන සමුළුවේ අභිමතාර්ථ සම්පූර්ණ කර ගැනීමට අපි මේ දක්වා සමත් වී නැහැ. අපි එම ඉලක්කයන් සපුරා ගැනීමට කැපවීම් කළ යුතුයි.
මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු පරිසර අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එක්ව සැලසුම් කරමින් සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මීළග දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ප්‍රථමයෙන් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුන් දෙදෙනා කටයුතු කරනු ඇති බව මම විශ්වාස කරනවා. 14.5% ක් වන ශ්‍රී ලංකාවේ කාබන් ප්‍රතිශතය 2030 වන විට අඩු කර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයක් මේ වන විට ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර තිබෙනවා. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගනු ලබන සෑම තීරණයක්ම මෙම කාර්යාලය මගින් ගැනීමට කටයුතු කරනවා. පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම අපි මේ වන විටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට හරිත ආර්ථිකයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ගල් අඟුරුවලින් ලබාගන්නා බලශක්තිය තවත් පුළුල් කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ. පොසිල ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාරයත් නැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අපේ අරමුණයි. අපි පළමුවෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පනතක් සකස් කිරීමට කටයුතු කරන අතර පැරණි පරිසර පනත ඉවත් කර නව පරිසර පනතක් සකස් කිරීමට පියවර ගන්නවා. එහිදී වන සංහාරය පිළිබඳව මෙන්ම වන ආවරණය පිළිබඳවත් සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන අතර මෙහි අවසාන පියවර ලෙස ජීවමාන පරිසර පද්ධතිය හඳුනා ගත හැකියි. නකල්ස් , හෝට්න්තැන්න, සිංහරාජ, මහවැලි ගඟ, ආදම්ගෙ පාලම සහ කඳුමුදුන් ආරක්ෂා කිරීමට එය ඉවහල් වෙනවා. ඒ අනුව ජීව පද්ධතියක් හඳුනාගන්නා පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වෙවි. දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම සඳහා පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවීමට අපි දැනටමත් සැලසුම් කර තිබෙනවා. කාලගුණ විපර්යාස පිළිබඳව දැන ගැනීම සහ ඒ පිළිබඳ තින්දු තීරණ ගැනීම හා ලෝකය දැනුවත් කිරීම මෙමගින් සිදු කෙරෙනු ඇති. හරිත ආර්ථිකයක් ගොඩනැඟීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළ මේ වන විට අපි ක්‍රියාත්මක කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය ඒ සඳහා අපට විශාල විභවයක් බව අපි හඳුනාගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළට අපි ආසියනු සංවර්ධන බැංකුවේ සහාය බලාපොරොත්තු වෙනවා. එමගින් මෙගාවොට් 45ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමටත් හැකියාව ලැබේවි. ඒ සඳහා ඇති ආයෝජන අවස්ථා මේ වන විට හඳුනාගෙන ඇති අතර අපි අපේක්ෂා කරන හරිත ආර්ථිකය පුනර්ජනනීය බලශක්තිය මගින් ළගා කර ගැනීමේ හැකියාව පවතිනවා. අපේ නව කර්මාන්ත හා සේවා නව තාක්ෂණය මත පදනම්ව ඉදිරියට ගෙන යාමටත්, කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමටත් එමගින් හරිත ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපට අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන අතර අපේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම ඉන් ප්‍රධාන අභියෝගයක්. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍යාධාර ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාවේ අඩු බවක් තිබෙන අතර හරිත මූල්‍ය මෙවලම් ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ ණය අඩු කිරීම අපේ සැලසුම වී තිබෙන බවත් කිව යුතුයි. ලෝක හරිත වර්ධන ආයතනය මේ සඳහා අපට උපකාර කරනු ඇති බවට කිසිඳු සැකයක් නෑ. මේ සඳහා හෙට දිනයේ දී ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතයි. මෙම කටයුතුවල සාර්ථකත්වය නිරීක්ෂණය කිරීමට බැන් කී මූන් මහතා නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරනවා. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (දේශගුණික විපර්යාස) කුමුදිනි විද්‍යාලංකාර මහත්මිය, ඩෙල්මා තේ ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනයේ සභාපති දිල්හාන් ප්‍රනාන්දු, ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී දීමන්ත සෙනෙවිරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ යන මහත්ම මහත්මීහු සහ ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු විද්වත් පිරිසක් මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාවට එක්ව සිටියහ.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *