27 April 2024
#දේශීය

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය පෙබරවාරි 28 ඇරඹේ – විදේශ ඇමැති

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය පෙබරවාරි 28 ආරම්භ වන අතර ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් මානවහිමිකම් පිළිබඳ මහා කොමසාරිස් මිෂෙල් බැචලේට ඉදිරිපත් කිරීමට සූදානම් බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්, “අද ශ්‍රි ලංකාව මුහුණදෙන ආර්ථික ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාව ඉතාමත් සාධනීය මැදහත්වීමක් කරලා තිබෙනවා. මම ඉන්දියාවේ ගත කළ දවස් 02 තුළ එය ඉතාමත් පැහැදිලිව පෙනුනා. දළ වශයෙන් ඉන්දියාවෙන් US ඩොලර් බිලියන 2.4 ක් ලැබෙනවා. එය පමණක් නොව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන සම්බන්ධතාවය මේ සඳහා පමණක් සීමා වෙච්ච දෙයක් නොවේ. හැම අවස්ථාවකදීම අපිට යම්කිසි ආධාරයක් සහ සහයෝගයක් අවශ්‍ය වූ විට නොමසුරුව ඉන්දියාව අපේ සහයට පැමිණෙලා තිබෙනවා. කොවිඩ් 19 වසංගතය ඇතිවෙච්ච අවස්ථාවේදි පළමුව අපිට මාත්‍රා පන් ලක්ෂයක් ඉන්දියාවෙන් ලැබුණා. බලාපොරොත්තු රහිතව කිසිම දෙයක් අපේක්ෂා කරපු දෙයක් නොවේ එස්ප්‍රස්පල් ගිනිගත්තාම මහා පරිමාණයේ පරිසර විනාශය වලක්වා ගන්නට පුළුවන් වුණේ ඉන්දියාව ඉතාමත් ඉක්මණින් මැදිහත් වෙලා එම ගින්න නිවීමට අපිට ඝෘජුව උපකාර කරපු නිසා. ඉන්දියාව පමණක් නොව චීනය, බංගලාදේශය, කුවේට් අරමුදල, සෞදි අරමුදල මේ සියලුම රටවල් සහ ආයතනවලින් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. මෙය අහම්බෙන් සිදුවෙන දේවල් නොවේ. අපේ රජයේ සාර්ථක, ප්‍රායෝගික, විදේශීය ප්‍රතිපත්තියක ඇස්පනාපිට පේන ප්‍රතිඵල තමයි මේවා. ඉන්දියාවේ ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩා සමීපව ගැටගැහීම තුළින් ප්‍රතිලාභ රාශියක් අපි අපේක්ෂා කරනවා. මහා පරිමාණයේ ආයෝජන සිදුවෙනවා. ඖෂධ නිෂ්පාදන ශ්‍රි ලංකාවේ සාර්ථකව සිදු කරගෙන යනවා. එයින් අපිට විශාල ප්‍රමාණයක විදේශ විනිමය ඉතුරු කර ගැනීමට පුළුවන් වනවා. අපිට අපනයනය කරන්නත් පුළුවන් තත්වයක් තිබෙනවා. ඒ වගේම අපේ රටට පැමිණෙන සංචාරකයින්ගෙන් 1/3 පැමිණෙන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම ඉන්දියාව ලොකු උනන්දුවක් දක්වනවා හෝටල් කර්මාන්තයට මහා පරිමාණයේ ආයෝජන කරන්න. එය දැනටමත් පටන් අරගෙන තිබෙනවා. එසේම ශ්‍රි ලංකාවේ අපනයන භාණ්ඩවලට දෙවැනි විශාලතම වෙළඳපොළ ඉන්දියාවයි. ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රි නරේන්ද්‍ර මෝදි මැතිතුමා එතුමාගේම පෞද්ගලික ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කරලා තිබෙනවා US ඩොලර් මිලියන 15 ක් භාවිත කරලා වෙනම අරමුදලක් හදලා තිබෙනවා ලංකාවේ පන්සල් හා පිරිවෙන්වල චිරස්තථිය සඳහා. බුද්ධ ශාසනය රැකගැනීමට උපරිම මට්ටමේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඉන්දියාව හා ලංකාව අතර ජනිත කරන්න. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට ගොස් අතිශයින් පලදායි සාකච්ඡා පැවැත්තුවා ඉන්දියාවේ මුදල් ඇමතිනිය සමඟ සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමා සමඟ. ඒ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් තමයි අපිට මේ US ඩොලර් බිලියන 2.4 යෝජනා වුණේ. මේ ගිවිසුම සම්පූර්ණ කරලා භෞතික වශයෙන් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීමට ඉන්දියාවෙන් අපිට ලැබෙන මුදල ඉක්මණින් ලංකාවට ලබා ගැනීම සඳහා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත සති දෙකක් ඇතුළත ඉන්දියාවය යෑමට සිදු වෙනවා ඒ ගිවිසුම් අත්සන් කරලා ඒවා සම්පූර්ණ කර ගැනීමට. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 18 සිට 20 දක්වා ඉන්දියාවෙන් විදේශ ඇමතිතුමා ලංකාවට පැණෙයි කියලා. ඒ වගේම ඉතාම වැදගත් සිද්ධියක් සිදු වෙනවා මාර්තු 31 වෙනිදා. ඒ බ්ම්ස්ටෙක් සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වෙනවා. රටවල් 07 න් සමන්විත සංවිධානයක්. මෙම සංවිධානයේ සභාපතිධූරය දැනට දරන්නේ ශ්‍රි ලංකාවයි. ඒ රටවල් 07 ම නායකයින්ට ඉතාමත් සුහඳව ආරාධනා කරලා තිබෙනවා කොළඹට පැමිණෙන්න කියලා මේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා. ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය පෙබරවාරි 28 ආරම්භ වනවා. ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් මානවහිමිකම් පිළිබඳ මහා කොමසාරිස් මිෂෙල් බැචලේ මැතිණියට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව මාර්තු 03 දින සාකච්ඡාවට භාජනය වෙනවා. අපි මේ ජිනිවා සැසිවාරයට සහභාගි වන්නේ සාධාරණය ඉෂ්ටවෙයි කියලා විශාල විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇතිව. ශ්‍රී ලංකාව සමඟ සුහඳව මිත්‍රශීලි විදිහට වැඩකරන ජාත්‍යන්තරය සමඟ අපි වැඩ කරන්න නිරන්තරයෙන් සූදානම්. ඒ ශෛලීය ඒ විදිහට වැඩ කිරීමෙන් තමයි මේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන් වන්නේ. මේ පණිවිඩය තමයි මූලික වශයෙන් 49 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *