27 April 2024
#සංවර්ධන

මානව සම්පත් ප්‍රාග්ධනයක් බවට පත්කිරීම රට වෙනුවෙන් කල යුතුමයි – කර්මාන්ත අමාත්‍ය රමේෂ්

අපට ඇති වටිනා මානව සම්පත , මානව ප්‍රාග්ධනයක් බවට පත්කිරීම රට වෙනුවෙන් මේ මොහොතේ කල යුතුම කාර්යක් බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් රට තුළ කර්මාන්ත හා ව්‍යවසායකත්ව නවෝදයක් ඇතිකිරීමේ අරමුණෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සියළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහයෝගීතාවයෙන් Get Up – Start Up for a Wealthy Nation ජාතික වැඩසටහන ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනගත කිරීම සිදු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කර්මාන්ත රටක පොහොසත් ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණෙන් දියත් කල මෙම ජාතික වැඩසටහනේදී ව්‍යවසායකයන් හා ආයෝජකයන් සඳහා නව වේදිකාවක් තාක්ෂණිකව නිර්මාණය කිරීමට ජංගම යෙදවුමක් (IDB Mobile APP) හදුන්වාදීම , කර්මාන්ත තොරතුරු වෙනුවෙන් 1995 නමින් හදිසි ඇමතුම් අංකයක් හා 0705001995 ලෙසින් වට්ස්ඇප් අංකයක් හදුන්වා දීම, ව්‍යවසාය සංවර්ධන වෙනුවෙන් Business Clinic හදුන්වා දීම , 9 ශේණියේ සිට ඉහල පාසල් සිසුන්ට ව්‍යවසායකත්ව දැනුම ලබාදීම වෙනුවෙන් School Entrepreneurial Circle ආරම්භ කිරීම, මහා පරිමාණ ආයෝජකයන්ට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ කර්මාන්තවල ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීම අරමුණු කොට ගෙන Investor Pool ආරම්භ කිරීම , ව්‍යවසායකයන් සඳහා අඩු පොලී යටතේ ණය පහසුකම් ලබාදීම වෙනුවෙන් HDFC බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම, රටේ ආර්ථිකයට වඩාත් හොඳ දායකත්වයත් ලබාදීමේ අරමුණින් ත්‍රී වීල් රථ රියදුරන් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා ඔවුන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීම, සණස සංවර්ධන බැංකුව (SDB) සමග එක්වී සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සැපයුම් දාමකරණය සඳහා ඩිජිටල් බැංකු තාක්ෂණය හඳුන්වාදීම, Dialog Enterprise ආයතනය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ කුඩා, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම, ව්‍යවසායකයින් සඳහා මගපෙන්වන මාර්ගෝදේශක අත්පොතක් ලෙසින් Guide for a Wealthy Nation එළි දැක්වීම German Industry & Commerce සමග තාක්ෂණික හා වෙළෙඳපොළ වෙනුවෙන් ගිවිසුම් ගතවීම මෙන්ම තවත් ආයතන ගණනාවක් සමග කර්මාන්ත නවෝදය වෙනුවෙන් විවිධ වූ එකගතාවයන්ට එළඹීම ආදී සුවිශේෂී කාර්යන් රාශියක් සිදුකෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා විවෘත ආර්ථික ප්‍රතිපත්තියට එළඹීමට ප්‍රථම රට තුළ කර්මාන්ත නවෝදයක් ඇතිව තිබූ ආකාරය පෙන්වාදුන් අතර මේ වනවිට නිෂ්පාදන කර්මාන්තයන් අපගමනයට ලක්ව අපනයන ආදායම අඩුව , ආනයන වියදම වැඩිව එය රටේ ආර්ථිකයට බලපා ඇති ආකාරයත් පෙන්වා දුන්නේය.

එමෙන්ම Get Up – Start Up for a Wealthy Nation ලෙසින් මෙලෙස ආරම්භ කරන ජාතික වැඩසටහන හරහා පාසල් ව්‍යවසායකත්ව කව වල පටන් , සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියළු ව්‍යවසායකයින් බලාත්මක කරමින් රට තුළ නිෂ්පාදන වැඩිකරමින් අපනයනය ප්‍රවර්ධනය කරමින් , ආනයන අඩුකොට ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකලයුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට මාලදිවයින, ඉන්දුනීසියාව, ඊජිප්තුව, නේපාලය, ඉරානය ආදි රටවල මහකොමසාරිස් වරුන් හා තානාපතිවරුන්, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරු , ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිළධාරින්, ජාත්‍යන්තර සහයෝගීතා ආයතනවල නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *